Super Team

අප පිළිබඳව

ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය

කුඩා දෑ ලස්සනයි නම් ග්‍රන්ථය රචනා කළ සුප්‍රකට ආර්ථික විද්‍යාඥඊ. එෆ් ෂූමාකර්ගේ අදහසකට අනුව 1966 වර්ෂයේදී එක්සත් රාජධානියේදී ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය ඇරඹුනි. වර්තමානය වන විට ප ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කෙන්යාව, නේපාලය, පේරු, සූඩානය සහ සිම්බාබිවේ යන රටවල ශාඛා කාර්යාල පවත්වාගෙන යනු ලබයි. එයට අමතරව ඉන්දියාවේ සහ පකිස්ථානයේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල නියැලෙයි.


දිළිඳුකම හා සමාජ විෂමතාවය ලෝකයෙන් පිටුදැකීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම සහ එහි වාසි සියළු දෙනාටම ලබා දීම යන දර්ශනය සමඟප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සංවර්ධන ක්‍රියාකරකම් සිදුකරනු ලබයි. තාක්ෂණය නොව මිනිසා මූකික කරගනිමින් සංවර්ධන කටයුතු ඇරඹීම වඩාත් සුදුසු ප්‍රවේශය බව අපගේ විශ්වාසයයි. ඒ ඔස්සේ ජන ජීවිතයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා තාක්ෂණය යොදාගත හැකිය.


ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ලියාපදිංචි වන්නේ 1989 වර්ෂයේදීය. නමුත් අප 1970 දශකයේ අවසාන භාගයේ සිටම මේ දක්වා අඛණ්ඩව මෙරට ග්‍රාමීය ප්‍රජාවය බලශක්තිය, ආහාර නිපැයුම්, කෘෂි ද්‍රව්‍ය සැකසුම්, ග්‍රාමීය ප්‍රවාහනය සහ මාර්ග, කාර්මික නිෂ්පාදන, ඉදිකිරීම් හා නිවාස වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යෝග්‍ය තාක්ෂණික සහ‍යෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට මැදිහත් විය.


මිනිසාගේ සැබෑ අවශ්‍යතාවයන් හා ගැටලු හදුනාගෙන ඊට පිළියම් සොයා ගන්න‍ට සවියක් දිය හැකි නම් තාක්ෂණය හා සබැඳුනු සංවර්ධන ක්‍රියාවලියට යහපත් මුහුණුවරක් ලබාදීම අසීරු නොවන බව විසි වසරක් පුරා අප ලැබූ අත්දැකීමයි. අප වටා ලෝකය දිනෙන් දින වඩාත් සංකීර්ණ හා අධි බලැති තාක්ෂණය වෙත බැ‍‍දෙන නමුත් අපගේ වෑයම දේශීය තාක්ෂණික දැනුම හා හැකියාවන් හඳුනාගෙන ඒවායින් ඵල ලැබීමට ප්‍රජාව සවිමත් කිරීමයි.

ප්‍රැක්ටිකල් ආන්ස්වර්ස් : තාක්ෂණික ගැ‍ටලු සදහා ප්‍රායෝගික විසදුම්

තාක්ෂණික තොරතුරු සැපයීමේ සේවාව

ප්‍රැක්ටිකල් ආන්ස්වර්ස් ව්‍යාපෘතියේ පසුබිම

ප්‍රජාවගේ තාක්ෂණික ගැටලු වලට කාර්යක්ෂමව පිළිතුරු සැපයීමේ අරමුණින් 1966 ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ අරම්භයේ සිටම තාක්ෂණික තොරතුරු සැපයීමේ සේවාවක් ක්‍රියාත්මක විය. ආරම්භයේදී එක්සත් රාජධානියේ ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ප්‍රධාන කාර්යාලයට පමණක් සීමාවුනු මෙම සේවාව පේරු, සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, සූඩානය සහ කෙන්යාව යන රටවල් තුල කාර්යාල ආරම්භවීමත් සමගම එම රටවල් තුලත් ක්‍රියාත්මක විය.

මෙම සේවාව සහ එයි වැඩදායී බව නිරන්තර ඇගැයීමකට ලක්වුණු අතර ‍බලාපොරොත්තු වූවාටත් වඩා සේවාවක් මෙම තොරතුරු සේවාව මගින් සිදුවන බව එමගින් වඩාත් තහවුරු විය. එම නිසා වඩාත් සංවිධානාත්මකව සහ විධිමත් ලෙස නව මුහුණුවරකින් මෙම සේවාව ඉදිරියට ගෙනයෑමේ අවශ්‍යතාව ඉස්මතුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස “Practical Answers”යන නමින් ව්‍යාපෘතියක් ලෙස දොරටවැඩි මෙම ‍සේවාව එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවල් 8 තුලද ක්‍රියාත්මක වීමට පටන් ගැනුනි.  

ව්‍යාපෘතියේ අරමුණ

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ගයන් සහ ජීවන තත්වය නගාසිටුවීම සදහා අවශ්‍ය යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබදව අදාළ තොරතුරුවඩාත් කාර්යක්ෂම ලෙස ලබාදීම තුලින් දිළිදු කම තුරන් කිරීම හරහා සංවර්ධන ක්‍රියාවලියට දායක වීමයි.

ව්‍යාපෘතියේ පැතිරීම

මෙ‍ම ව්‍යාපෘතිය එක්සත් රාජධානිය,පේරු, සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, සූඩානය සහ කෙන්යාව යන රටවල් අටෙහිම ක්‍රියාත්මක වන අන්තර්ජාතික ව්‍යාපෘතියක් වන අතර ශ්‍රී ලංකාවේදී එම ව්‍යාපෘතිය මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වෙයි.තවද ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තය තුලද මෙම සේවාව ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාර්යාලය මගින් එම කටයුතු මෙහෙයවයි. ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය පකිස්ථානය සහ භූතානය වැනි දකුණු ආසියානු රටවලට සහ තෝරාගත් වෙනත් ආසියානු සහ අප්‍රිකානු ර‍ටවල්වලටද ව්‍යාප්ත කිරීමට නියමිතයි.

ව්යාිපෘතිය මගින් සලසන සේවාවන්

  • තාක්ෂණික තොරතුරු සැපයීමේ සේවාව
  • තොරතුරු සදහා ඇති ඉල්ලුම පදනම්කර ගනිමින් ‍තොරතුරු සම්පිඩණය කිරීම සහ බෙදාහැරීම - තාක්ෂණික තොරතුරු පත්‍රිකා, වීඩියෝ පට, පොත් පත් සහ පත්‍රිකා, සිද්ධි අධ්‍යනයන්
  • විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබද දැනුවත් කිරීමේ සහ පුහුණු සැසි පැවැත්වීම
  • ජනතාක්ෂණ් අන්තර්ජාල බිහිදොර ඔස්සේ විවිධ සේවාවන් ලබාදීම

එක් එක් සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය

තාක්ෂණික තොරතුරු සැපයීමේ සේවාව

කවුරුන් සදහාද

මෙම සේවාවේ ප්‍රධානතම ඉලක්කගත කණ්ඩායම වන්නේ ප්‍රජාවයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම පුද්ගලයකුට මෙම සේවාව ලබාගැනීමේ හැකියාව පවතී. එසේම ප්‍රජාව වෙත තොරතුරු ගෙනයෑමේ කාර්යභාරයේ නියැලී සිටින ක්ෂේත්‍ර නිළධාරීන්, ව්‍යාපෘති නිළධාරීන්, ජනමාධ්‍යවේදීන්, තොරතුරු ‍බෙදාහැරීමේ මධ්‍යස්ථාන ආදී සංවර්ධන ක්‍රියාවලියෙහි නියැලී සිටින අනෙකුත් නිළධාරීන් සහ ආයනත ද මෙම සේවාවේ ප්‍රධාන ඉලක්ක ගත කණ්ඩායමකි. මීට අමතරව පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරු භවතුන්, අනෙකුත් විවිධ අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය මෙමගින් ඉලක්කගත කෙරේ.


සේවාව ලබාගතහැකි මාර්ග

මෙම සේවාව විවිධ මාර්ගයන් ඔස්සේ ලබාගතහැකි වන අතර දුරකථනය, ලිපි, ෆැක්ස්, විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාලය ඉන් ප්‍රධානවේ. ඊට අමතරව අපගේ ව්‍යාපෘති නිළධාරීන් සහ පාර්ශවකාර ආයතන ඔස්සේ අදාළ තොරතුරු ඉල්ලීම් අපවෙත ඉදිරිපත්කළ හැකියි.

තොරතුරු සපයන ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන්

ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය විවිධ යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබද පර්යේෂණයන්හි නිරතවෙමින් සාර්ථක අත්හදාබැලීමි ප්‍රචලිත කිරීමේ නියැලී සිටින ආයතනයක් නිසා එම සහ ඊට අදාළ තාක්ෂණික තොරතුරු සැපයීම පිළිබද අවධානය යොමුකරයි. පහත දැක්වෙන විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ තොරතුරු ලබා දිම සිදුකරයි.


• ධීවර (ෆයිබර් ග්ලාස් බෝට්ටු නිෂ්පාදනය, සුර්ය විජලන යන්ත්‍ර)
• නිවාස සහ ඉදිකිරීමේ තාක්ෂණය
• කෘෂිකර්මාන්තය (ආහාර සැකසුම් තාක්ෂණය, පශු සම්පත් සංවර්ධනය. පාරම්පරික වී ගොවිතැන)
• බලශක්තිය (ජීව වායු, කුඩා පරිමාණ ජල විදුලි උත්පාදනය, සුළං විදුලිය, සූර්යය බලශක්තිය)
• ජලය සහ සනීපාරක්ෂාව (ජල ආසවනය, පරිසර හිතකාමී වැසිකිළි ක්‍රමවේදයන්)
• අපද්‍රව්‍ය කළමනාකරණය (කොම්පෝස්ට් බදුන්, කඩදාසි ප්‍රතිචක්‍රීකරණය, ගෙවතු වගාව)
• ආපදා කළමනාකරණය
• නාගරික සංවර්ධනය
• ස්වභාවික සම්පත් කළමනාකරණය


පිළිතුරු සපයනු ලබන්නේ

ලැබෙන විමසීම් සදහා සාර්ථකව සහ ඉක්මනින් පිළිතුරු සැපයීම සදහා තොරතුරු මූලාශ්‍ර රැසක සහයෝගය ලබාගැනේ. එම මූලාශ්‍රයන් ‍පහත පරිදි‍ වේ.
• අප ආයතනයේ අදාළ විෂය පිළිබද ප්‍රවීණයන් මගින්
• රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන ඇතුළු විවිධ ආයතනවල වෘත්තිකයන් මගින්
• විවිධ තොරතුරු සහ දත්ත මූලාශ්‍රයන් මගින් (පොත් පත්, දත්ත ගබඩාවන්, පුවත්පත් සහ වෙනත් ලිපි, පර්යේෂණ පත්‍රිකා ආදිය)
• අන්තර්ජාලයේ වෙබ් අඩවි මගින්


අපගේ විෂය පථයන්ගෙන් ඔබ්බට ගිය විමසීම් සදහා ඊට අදාළ ආයතන සහ පුද්ගලයන්‍ වෙත විමසන්නන් යොමුකිරීම සිදු කරයි.
මෙම සේවාවේ ඇති සුවි‍ශේෂීත්වය
• සියළුම තොරතුරු නොමිලයේ ලබාදීම
• සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තු‍නෙන්ම තොරතුරු ලබාගැනීමේ හැකියාව
• ලබාදුන් තොරතුරුවල වැදගත්කම පිළිබද නිරන්තර පසු විපරම
• මාර්ග ගනණාවක් ඔස්සේ විමසීම සිදුකිරීමට ඇති හැකියාව
• සරල භාෂා ශෛලියකින් ලියැවුණු තොරතුරු විවිධ ආකාරයන්ගෙන් ලබාගැනීමට ඇති හැකියාව

දැනුම සහ තොරතුරු ගොනුකිරීම සහ බෙදාහැරීම


ව්‍යාපෘතිය වෙත ලැබෙන තාක්ෂණික තොරතුරු විමසීම් පිළීබද අගැයීමි නිරන්තරව සිදුකරන අතර එහිදී විවිධ විෂයන්ට අදාළව තොරතුරු සදහා ඇති ඉල්ලුම පිළිබද අධ්‍යනයක් සිදුකරයි. වඩා වැඩි ඉල්ලුමක් ඇති විෂයන් හදුනාගෙන ඊට අදාළ පොත්පත්, වීඩියෝ පට, තාක්ෂණික තොරතුරු පත්‍රිකා, මාර්ගෝපදේශ ආදිය නිර්මාණය කරන අතර ජාතික තලයේ විවිධ මුද්‍රිත සහ ශව්‍ය දෘෂ්‍ය මාධයන් භාවිතා කරමින් ලිපි සහ ‍වැඩසටහන් ප්‍ර්‍රකාශයට පත් කරයි.


විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබද දැනුවත් කිරීමේ සහ පුහුණු සැසි පැවැත්වීම

අපවෙත ලැබෙන ඇතැම් තොරතුරු විමසීම් වලදී ප්‍රායෝගික තාක්ෂණික දැනුමෙහි අවශ්‍යතාවය ඉස්මතුවන අතර එවැනි ඇතැම් ඉල්ලීම් පදනම්කර ගනිමින් අපගේ පාර්ශව කරුවන් සමග සහයෝගයෙන් පුහුණු සැසි සහ සම්වන්ත්‍රණ සංවිධානය කරනු ලබයි. මෙම වැඩසටහන් වල සම්පත් දායකයින් ලෙස අප ආයතනයේ සහ වෙන්ත ආයතනවල විෂය ප්‍රවීණයන් සම්බන්ධකරගනු ලබයි.

ප්‍රැක්ටිකල් ආන්ස්වර්ස්  අන්තර්ජාල බිහිදොර ඔස්සේ විවිධ සේවාවන් ලබාදීම

www.practicalanswers.lk: සංවර්ධන ගැටලු සදහා ප්‍රායෝගික විසදුම් රැගත් අන්තර්ජාල බිහිදොර


තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇතිවී ඇති සීග්‍ර දියුණුවත් සමගම සෑම විෂය ක්ෂේත්‍රයකම පාහේ එය අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වී හමාරය. සංවර්ධන ක්ෂේත්‍රය තුලද මේ සදහා ප්‍රධාන ස්ථානයක් හිමිව පවතී. අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිපාලනය, කෘෂිකර්මාන්තය ආදී විවිද. නිසි තොරතුරු නිසි වේලාවට නිසි කණ්ඩායම් වෙත ලබාදීම සංවර්ධන ක්‍රියාවලියේදී ඉතා වැදගත්වේ. තොරතුරු තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමගම සාම්ප්‍රදායික සන්නිවේද ක්‍රමවේදයන්ට වඩා කාර්යක්ෂම ලෙස අදාළ තොරතුරු සන්නි‍වේදනය සදහා නව සන්නිවේදන ක්‍රමවේද සහ උපාංග භාවිතයට පැමිණ හමාරය. අන්තර්ජාලය සහ ජංගම දුරකථන හරහා තොරතුරු හුවමාරුව ඒ සදහා හොදම උදාහරණයන්ය.දිව‍යිනේ සෑම ප්‍රදේශයකටම අන්ත්ර්ජාල පහසුකම් නැතත් අනෙකුත් දියුණුවෙමින් පවතින රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්ගේ භාවිතය ඉහළ මට්ටමක පවතින අතර එය ශ්‍රීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී. මෙවැනි යහපත් වටපිටාවක් තුල සංවර්ධන ක්ෂේත්‍රයෙහි ‍විවිධ තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් බහුලව භාවිතයට පැමිණ ඇති අතර සංවර්ධන කාරයයෙහි නියැලී සිටින බොහොමයක් ආයතනන සහ නිලධාරීන් තොරතුරු වඩාත් කාර්යක්ෂම ලෙස ලබාගැනීමටත් හුවමාරුකරගැනීමටත් අන්තර්ජාලය ඇතුළු විවිධ ක්‍රමවේදයන් භාවිතාකරනු ලබයි. මෙම කරුණු පාදක කරගනිමින් සංවර්ධනයෙහි යෙදී සිටින නිලධාරීන් සහ ආයතන හරහා තොරතුරු ප්‍රජාව වෙත ලබාදීමේ අරමුණින් www.janathakshan.netඅන්තර්ජාල බිහිදොර ආරම්භවිය.


මෙම අන්තර්ජාල බිහිදොරෙහි සුවිශේෂී ලක්ෂණ


• සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ ඔරියා යන භාෂා 4කින් තොරතුරු ලබාගැනීමේ හැකියාව
• යුනිකෝඩ් අක්ෂර භාවිතය
• Open Source මෘදුකාංග භාවිතය
• ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය මගින් ප්‍රකාශිත විවිධ පොත්පත්, පෝස්ටර්, ඡායාරූප, වීඩියෝ සහ අනෙකුත් ප්‍රකාශන මෙම බිහිදොර ඔස්සේ ලබාගත හැකි වීම
• සංවර්ධන කටයුතුවල නියැලෙන ආයතනවලට හා පුද්ගලයන්ට තම අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව
• තාක්ෂණික ගැටලු වලට පිළිතුරු ලබාගැනීමේ හැකියාව
• ජනමාධ්‍ය සදහා ඉඩකඩ
• යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබද තොරතුරු ගබඩාවක්

අපගේ පාර්ශවකරුවන්
• තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය
• ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය
• ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
• සණස සංවර්ධන බැංකුව


අපගේ සේවාවට අගැයීමක්
ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ගයන් සහ ජීවන තත්වය නගාසිටුවීම සදහා අවශ්‍ය යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබදව අදාළ තොරතුරු වඩාත් කාර්යක්ෂම ලෙස ලබාදීමේ අරමුණින් ඇරඹුණු ෙමම ව්‍යාපෘතියට 2010 දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන ආයතනය විසින් පවත්වන ලද ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රධානෝත්සවයේදී ජීවනෝපාය අංශයේ National Best e – Content Award- Livelihood) ප්‍රථම ස්ථානය හිමිවිය.

අප හා සම්බන්ධවියහැකි ආකාරය
වැඩිදුර විස්තර දැනගැනීම සදහා විමසන්න
ව්‍යාපෘති කළමණාකාර - ප්‍රැක්ටිකල් ආන්ස්වර්ස් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05
දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk